කඳු මැද නුවර නම්ලත් ඓතිහාසික දැරණියගල පුරවරයේ මහා වනස්පති වෘක්ෂයන්ගෙන් සැදුම්ලත් රමණීය පුණ්‍ය භුමියක සුපිහිටි සිරිසමන් මැදි මහා විදුහල පිළිබඳ සැකවින් තොරතුරු බිඳක් සටහන් කිරීම මෙම සුවිශේෂී සුපින්වත් මොහොතේ අතිශය වැදගත් වන්නකි. එසේම මෙම විද්‍යස්ථානය ප්රගමනය කරා මෙහෙයවාලුවන් කෘතඥ පූර්වකව අනුස්මරණය කිරීම වත්මන් ඉගැන්වීම් කාර්යයෙහි නිරත අප සැමගේ අත්‍යුදාර ශ්‍රේෂ්ඨ කර්තව්‍යයක් වනු ඇත.
මෙම විද්‍යාස්ථානය වර්ෂ 1947 මැයි මස 13 වනදා උපත ලද බව විදුහල්ප ඉතිහාසයේ සටහන්ව ඇත. ඒ වන විට දැනට කනිෂ්ඨ විද්‍යාලය පිහිටා ඇති ස්ථානයේ ගැහැනු පිරිමි වශයෙන් සිංහල මාධ්‍ය විද්‍යාලයක අවශ්‍යතාවය ඉටු කරනු පිණිස කනිටු විදුහලින් ශිෂ්‍යයින් 29 හා ගැහැණු කනිටු විදුහලින් ශිෂ්‍යාවන් 04 දෙනෙකුද ඇතුළත් කර ශිෂ්‍යයින් 33 දෙනෙකුගෙන් මෙම විද්‍යාලය ආරම්භ කොට ඇත. විදුහල ආරම්භයේ එස්.එම්. වීරසිංහ මහතා විදුහල්පති වශයෙන් සේවය කර ඇත්තේ මාසයක් පමණ සුළු කාලයක් වන අතර 1947.06.04 දින ඩී ධර්මසේන මහතා වසින් විදුහල්පති තනතුර භාර ගන්නා ලදී එම වකවානුවේ දී මෙම විද්‍යාලය නම් කොට ඇත්තේ “ඉංග්‍රීසි කණිටු විදුහල”නමිනි.

මෙම විද්‍යාලයේ ප්‍රථමයෙන් සවස් වරු පන්ති ද පවත්වා ඇත්තේ ගොඩනැඟිලි ප්‍රමාණවත් නොවූ බැවිනි.වර්ෂ 1948 මැයි මස 17 දී ගුරු දෙගුරුන් විසින් තනන ලද අර්ධ ස්ථීර ගොඩනැගිල්ලක් විවෘත කර ඇත. මෙම කාල සීමාව මෙම විදුහලින් ඉගෙනුම ලැබූ එල්.ජී.ඒ. ගුණවර්ධන මහතා භූ ගර්භ විශේෂඥයකු ලෙස ජර්මනියේ සේවය කළ බව සඳහන් වේ. නව ගොඩනැඟිල්ලෙහි පන්ති අරඹන විට මෙහි ශිෂ්‍ය සංඛ්‍යාව 184 ක් සිටි බවද, ගුරු මඩලෙහි ගුරුභවතුන් 5 දෙනෙකු ඉගැන්වීම් කාර්යයෙහි යෙදී ඇත. සිරිසමන් ඉතිහාසයේ ප්‍රථම අධ්‍යාපන චාරිකාව සටහන් වන්නේ 1948. 10.11 දින දීය.චාරිකාව ගොස් ඇත්තේ දෙහිවල සත්වෝද්‍යානයට යි. වර්ෂ 1949.03.31 දින වරාන්ත විවිධ ප්‍රසංගයක් පවත්වා ඇති අතර එහිදී විලියම් ශේක්ස්පියරයන්ගේ The merchant of Venice (වැනීසියේ වෙළෙන්දා) නාට්‍යය ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාර්ථක ලෙස වේදිකා ගත කොට ඇත.
1950 වසර වනවිට ගුරුමණ්ඩලය 6 දෙනෙකු වූ අතර,ශිෂ්‍ය සංඛ්‍යාව 180 ක් බව සඳහන් වේ. මේ අවධිය වන විට ශිෂ්‍ය සංඛ්‍යාවේ අඩුවක් වී ඇත්තේ ඒ වන විට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීමට අපහසු ශිෂ්‍යයන් සඳහා සිංහල මාධ්‍යයන්ද පන්ති ආරම්භ කොට තිබූ බැවිනි. 1953 වර්ෂය වන විට ගුරු මණ්ඩලය 11 දෙනෙකු හා ශිෂ්‍ය සංඛ්‍යාව 263 දක්වා වර්ධනය වී තිබුණි.මේ වකවානුව වන විට දෙමළ මාධ්‍ය අංශයක් ආරම්භ වී තිබුණු අතර එහි ආරම්භක දිනය අපැහැදිලි බව සඳහන් කළ යුතුය.
ආරම්භක විදුහල්පති ඩී.ධර්මසේන මහතා එකල පැවති අභියෝගවලට නොපසුබට උත්සාහයෙන් යුතුව මුහුණ දෙමින් සුවිසල් මෙහෙවරක් කොට 1953.04.29 දින වරකාගොඩ විදුහලට ස්ථාන මාරු ලබා යෑමෙන් පසු ඩබ්ලිව්. එල්. එච්. සමරසිංහ මහතා 1953.12.03 දක්වා විදුහල්පති ධූරය ආවරණය කොට ඇත. මෙම විදුහල්පතිතුමා ස්ථාන මාරුවක් ලබා වෙනත් විද්‍යාලයකට ගිය බැවින් එන්.එම්.ආර්. ජිනදාස මහතා 1954.03.01 දක්වා මාස 03 කෙටි කාල කාලසීමාවක් විදුහල්පති ධූරය දරා ඇත.දැරණියගල සිරිසමන් විද්‍යාලයේ ස්වර්ණමය යුගය ඇරඹෙන්නේ 1954.03.01 දින ඒ.පී.ජිනදාස මැතිඳුන්ගේ ආගමනයෙන් පසුවය. මේ කාල වකවානුව වන විට කාර්යශීලී තරුණ්‍යයේ පසු වූ ඒ මැතිතුමා අඛණ්ඩ විසි වසරක් අධ්‍යාපන සේවයෙහි නියුතුව 1974 වර්ෂයේ ජනවාරි 01 වන දින විශ්‍රාම ගියේය. වත්මන් විදුහලේහි අසහාය නිර්මාතෘවරයා ලෙස අද ද ප්‍රදේශවාසීන්ගේ නොමද ගෞරවාදරයට බඳුන්වන ඒ.පී.ජිනදාස යුගය වෙසෙසින් අනුස්මරණීය යුගයක් ම විය.
ජිනදාස මැතිදුන්ගේ බලවත් පරිශ්‍රමයෙන් නිසාම 1958 ජනවාරි 01 දින සිට දැරණියගල ප්‍රධාන අධ්‍යාපන කේන්ද්‍රස්ථානය වූ මෙම විදුහල මහා විද්‍යාලයක තත්ත්වයට උසස් වී තිබේ.
මෙම විදුහල් සඳහා මීට පෙර සිටම මාලිගාතැන්න ප්‍රදේශ්යෙන් වෙන් කර තිබුණු අක්කර පහක රමණීය භූමිභාගයක නව ගොඩනැගිලි ඉදි කරන ලදී. 1958 වසරේදී විවෘත කරන ලද (වර්තමාන විදුහල් භූමියේ) විදුහල්පති නිවාසයක්, 100-20 ශාලා දෙකක්, කර්මාන්ත ශාලා ගොඩනැගිල්ලක්, විද්‍යාගාරයක් යන ගොඩනැගිලි විවෘත වූ අතර,1958 වර්ෂයේ බුදු මැදුරක්ද ද තනන ලදී. එය විවෘත කිරීමේදී භික්ෂූන් වහන්සේලා සිය නමක් විෂයෙහි මහා සංඝගත දක්ෂිණාවක් පිරිනැමූ බව සඳහන් වෙයි. මෙම කාල සීමාවේ පාසලේ අභිවෘද්ධිය සඳහා නොමද සහය ලබාදුන් එන්. එම්. ආර්. මොහොට්ටි අප්පුහාමි මහතා කෘතඥ පූර්වකව සිහිපත් කළ යුතුය.
මේ වන විට කලා අංශයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ආරම්භ වී තිබුණද ඒ සඳහා අවැසි ගුරු මණ්ඩලයක් නොවීය. උපාධිධාරී ගුරු භවතුන් වශයෙන් එන්.එම්.ආර්. ජිනදාස (බී.ඒ. ලන්ඩන්), ජේ.බී.පාගොඩ (බී.ඒ.ලංකා) යන මහතුන් දෙදෙනා පමණක් ඉගැන්වීම් කාර්යෙහි තම උපරිම කාලය ශ්‍රමය යොදවා තිබුණි.
1962 වසර වන විට උපාධිධාරී ගුරුවරුන් කිහිප දෙනෙකුම පත්වී ආ නිසා සරසවි පිවිසුම් පෙළ පංතිවල විශාල ප්‍රගතියක් ඇති විය. 1964 වසරේ ප්‍රථම වතාවට පී.ජී.ජයතිලක මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර 1965 වසරේ විද්‍යෝදය කොළඹ යන විශ්වවිද්‍යාල වලට සිසුහු තිදෙනෙක් ඇතුළත් වූහ. මේ යුගයේ ඉතා දක්ෂ ගුරු මණ්ඩලයක් සේවය කිරීම මෙම ජයග්‍රහණයට හේතු වූ බව පැවසිය හැකිය.
මේ යුගයේ ක්‍රීඩා හා සෞන්දර්ය අංශ වල කැපී පෙනෙන දියුණුවක් දක්නට ලැබුණි. විශාල ක්‍රීඩා පිටියක අවශ්‍යතාවය වන විට සම්පූර්ණ වී තිබුණි. එවකට නියෝජ්‍ය විදුහල්පතිව සිටි අයි.එච්.එම් ගුණවර්ධන මහතා වඩු ශිල්ප ගුරුවරයෙකු වශයෙන් කටයුතු කළ අතර, ඒ මහතාගේ නොමද කැපවීම මත අද ද විදුහල් බිම අරා වැජඹෙන තේක්ක, බුරුත, නැදුන්, හල්මිල්ල ආදී රමණීය මහා වනස්පති රුක් පෙළ චිත්තාකර්ශනීය පින් බිමක් බවට මෙම භූමිය පත්කරන බව කෘතඥ පූර්වකව සිහිපත් කළ යුතුය.
මේ අවධියේ "මණිචෝර හා ටිකිරිමලී", "රත්තරන්", "නරිබෑනා" වැනි නාට්‍ය වලින් සිරිසමන් කලා කවය කැපී පෙනුණු අතර අප විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ඒ.ජී.එස්.එස්.ගුණතිලක මහතා සිසුවෙකුව සිටියදී මෙම නාට්‍ය වලට රංගනයෙන් දායකත්වය සැපයූවෙකු බව සඳහන් කිරීම සතුටට කරුණකි. ඉහත සඳහන් මෙම නාට්‍ය රඟ දැක්වීමෙන් ලැබුණු මුදලින් මිණි කිකිණි ශාලාව ගොඩනැඟු බව සඳහන් කළ යුතුය.වර්තමානයෙහි රජයේ තක්සේරු නිලධාරියෙකු වන පී.ඩබ්ලිව්.සේනාරත්න මැතිතුමාත්, මාගා ඉංජිනියරින් ආයතනයේයතනයේ කළමනාකාර අධ්යක්ෂ කුලරත්න මහතාද එම වකවානුවේ සිරිසමන් විද්‍යාලයේ ශිෂ්‍යයන් හැටියට අධ්‍යාපනය ලබා ඇත. දැනට විශ්‍රාමිකව සිටින අප විද්‍යාලයේ අධ්‍යාපන සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කළ, විදුහලට අනුබද්ධිත දුරස්ථ අධ්‍යාපන ප්‍රාදේශිය මධ්‍යස්ථානයේ ගුරු ශිෂ්‍ය පාඨමාලාව මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ ගුරු උපදේශක එම්.කේ.කරුණාරත්න මහතා මෙම අවධියේ උසස්පෙළ සිසුවකු ව සිටිමින් මහත් පරිශ්‍රමයෙන් ගොඩනැඟූ" සරසවි ශාස්ත්‍රීය සංගමය" ආරම්භ කිරීමද එය යාවත්කාලීනව දැනට ද පවත්වාගෙන යන බව මේ අවස්ථාවේ සිහිපත් කිරීම යුක්ති යුක්ත කරුණකි. ප්‍රදේශ්යෙන් ගුරු දෙගුරුන් හා ආදී ශිෂ්‍යයන්ගේ ආධාරෝපකාරයෙන් හා ධෛර්යයෙන් ගොඩනැගිලි දෙකක් ද මේ වකවානුවේ ඉදිවුණි." සියවස පුස්තකාලය" ගොඩනැගෙන්නේද මේ යුගයේය.
1974 ජනවාරි 01 දින ඒ.පී.ජිනදාස විදුහල්පතිතුමා විශ්‍රාම ගියෙන් එන්.එම්.ආර්.පියසේන මහතා විද්‍යාලයාධිපති වශයෙන් පත්ව මාසයක පමණ කෙටි කාලයක් සේවය කර ඇත.1974.02.01 දින එන්.එම්.ආර්.ජිනදාස මහතා නැවත විදුහල් විදුහල්පති වශයෙන් පත්ව පැමිණීමෙන් තවත් "ජිනදාස යුගයක්" සිරිසමන් හි ආරම්භ විය.
මේ යුගයේ අප විදුහලේ 10 වාණිජ විද්‍යා ගොඩනැගිල්ලක් ද ගුරුවරුන්ගේ සහාය ලබා 100-20 ස්ථිර ගොඩනැඟිල්ලක් ද, කාර්යාල ශාලාවක්ද ඉදි වු අතර,සෑම අංශයකම අධ්‍යාපනික සංවර්ධනයක් පවත්වාගෙන යාමට විදුහල්පති භූමිකාව පිළිබඳ කෘතහස්ත භාවයකින් හෙබි එන්.එම්.ආර් ජිනදාස මැතිතුමා සමත් විය.1979 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 675-750 අතර පරාසයක පැවතුණි.ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වීමක් සිදු නොවූයේ මේ වන විට දැරණියගල කනිටු විදුහල අපොස සාමාන්‍ය පෙළ දක්වා පන්ති පැවැත්වීමත්, එම සිසුන් මෙම විදුහලට ඇතුළත් වීම වැළැක්වීම සඳහා අදෘශ්‍යමාන බලවේග ක්‍රියාත්මක වීම නිසාත්, සිසුන් බඳවා ගැනීමට පෝෂිත පාසලක් නොවූ නිසාත්ය. 1980 ජුනි 26 වැනි දින එන්.එම්.ආර් ජිනදාස මහතා විශ්‍රාම ගියේ මෙම විද්‍යාලය මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් කර මාස කිහිපයකිනි. මෙතුමාගේ විදුහල්පති භූමිකාව තුළ සා/පෙළ, උ/පෙළ ප්‍රතිඵල ද හොඳ මට්ටමකින් පැවතුණි.
1980 වසරේ එන්.එම්.ආර් ජිනදාස මැතිඳුන්ගේ විශ්‍රාම ගැනීමෙන් අනතුරුව විදුහල්පති ධූරයට පත්වූයේ එෆ්.එෆ්.සිරිවර්ධන මහතා ය. එය වත්මනෙහි අප විදුහලේ වාණිජ අංශ ප්‍රධාන ආර්.එම්.වීරසේන මහතා විශ්ව විද්‍යාලයට පිවිසියේ මේ යුගයේදීය. එතුමාද තම ශක්ති ප්‍රමාණයෙන් විද්‍යාලයේ අභිවෘද්ධිය සඳහා කටයුතු කළ අතර විදුහලේ මහල් තුනකින් සමන්විත ශ්‍රවණාගාර ගොඩනැඟිල්ලක් ලබාගැනීමට කටයුතු කළ බව කෘතඥ පූර්වකව සඳහන් කළ යුතුය.1983 මෙතුමාගේ කාල කතා කාලවකවානුවේ මහත් උත්කර්ෂවත් ව පවත්වන ලද කලා උළෙල එවකට නියෝජ්‍ය විදුහල විදුහල්පතිව සිටි එල්.ඒ.ජී.පුෂ්පකුමාර මහතාගේ නොමැද කැපවීමෙන් සිදු වූ බව පැවසිීම සාවද්‍ය නොවේ. ඒ සඳහා විදුහල්පතිතුමාගේ නොමද සහයෝගය නියෝජ්‍ය විදුහල්පති තුමාට ලැබුණු බව සඳහන් කළ යුතු ය.1985 මැයි මාසයේදී සිදුවූ සිරිවර්ධන විදුහල්පතිවතුමාගේ හදිසි අභාවය ප්‍රදේශවාසීන්ගේත්, ගුරු සිසු සැමගේත් මහත් වූ සිත් තැවුල්ට හේතු විය. එතුමාගේ අවසාන කෘත්‍යය සිරිසමන් ක්‍රීඩා පිටියේ සිදු කරනු ලැබුවේ එතුමාගේ සේවයට කරන උපහාරයක් වශයෙනි.
සිරිවර්ධන විදුහල්පති මැතිඳුන්ගේ හදිසි අභාවයෙන් අරාජිකව ගිය සිරිසමන් විදුහලේ අධ්‍යාපන කටයුතු අනතුරුව නිසිලෙස පවත්වා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දුන්නේ එවකට නියෝජ්‍ය විදුහල්පතිව කාගේත් සිත් දිනාගෙන සිටි ජී.පියසේන මැතිතුමා ය. එතුමා පසුව අංහෙට්ටිගම මහා විද්‍යාලය දිගු කලක් විදුහල්පති තනතුරක් දරා ඉමහත් සේවයක් සිදු කොට මේ වන විට විශ්‍රාම සුවයෙන් පසුවන බව සඳහන් කළ යුතුය.
මේ අවධියේ බස්නාගල විද්‍යාලයේ විදුහල්පතිව සිටි එල්.ඒ.ජී.පුෂ්පකුමාර මහතා මෙම විදුහලේ විදුහල්පති ධූරයට පත්ව පැමිණීමෙන් සිරිසමන් විදුහලේ නව පිබිදීමක් ඇති වූ බව සඳහන් කළ යුතු ය.සැබවින්ම ප්රබුද්ධ කලාකාමී චින්තනයෙන් යුක්ත වූ එතුමා කලක් තිස්සේ විදුහල්පති භූමිකාවේ රුව ගුණ මැනවින් අවබෝධ කරගත් කෘතහස්ත බහුශ්රැතයාණ කෙනෙක් වූහ. විදුහලෙහි නිල නිවසේ වෙසෙමින් විදුහලේ දියුණුව පිළිබඳ ඇපකැප වෙමින් ක්‍රියා කළ ආකාරය පිළිබඳ සජීීවී චිත්‍රයක් මෙම ලිපිය ලියන ලද මා තුළද මැවෙන්නේ මෙතුමා ගේ කාලවකවානුවේ මාද ගුරුවරයකු වශයෙන් මෙම විදුහලට පැමිණි බැවිනි.උසස් අභිමතාර්ථයන් පෙරදැරි කර ගත් එතුමා විදුහලේ ගැටලූු හඳුනාගෙන ක්‍රමවත් මාර්ගෝපදේශයන් ලබාදෙමින් කටයුතු කිරීම විදුහලේ සංවර්ධනයට හේතු විය අධ්‍යාපනය යනු හුදෙක් දැනුම ගබඩා කර උසස් සහතිකයක් ලබා රැකියාවකට සුදුසුකම් ලැබීම පමණක් නොවන බවත්, කල්ප හා කුසලතා වර්ධනය අධ්‍යාපනය තුළින් සිදුවිය යුතු බවත් එතුමා හොඳින් දැන් සිටියේය.
ඒ ඒ කාර්යයන් සඳහා යෙදවිය යුතු පුද්ගලයන් මැනවින් හඳුනා හඳුනාගැනීමේ අපූර්ව හැකියාවකින් හෙබි විදුහල්පති පුෂ්පකුමාර මැතිතුමාට විදුහල සංවර්ධනයට සහාය වීමේදී එම්.කේ.කරුණාරත්න මහතා,එන්. කේ.ඥානරත්න මහතා, අමරසිංහ මහත්මිය, සීලාවතී මහත්මිය වැනි පළපුරුදු ජේෂ්ඨ ගුරුභවතුන්ගේ සහාය ලැබුණි. විද්‍යාල පරිපාලන ක්ෂේත්රය සඳහා කළමණාකරන කමිටුවක් පිහිටුවීම සංවර්ධන හා පරිපාලන වශයෙන් නියෝජ්‍ය විදුහල්පතිවරුන් පත් කිරීම, ශිෂ්‍ය නායකයින් ගේ කටයුතු විමධ්‍යගත කිරීම,අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ප්‍රතිඵල ඉහළ නැංවීමේ දී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, පරිසර සංරක්ෂණ හා ප්‍රති සංවර්ධනය කිරීම, ක්‍රීඩා හා සෞන්දර්යය වැනි බාහිර ක්‍රියාකාරකම්වල සංවර්ධනය යනු කරුණු උක්ත ගුරුභවතුන්ගේ නොමද සහයෝගයෙන් සිදු වූ බව මෙහිලා සඳහන් කිරීම වැදගත් වෙයි.
පර්ෂද ක්‍රමය යටතේ සිරිසමන් විදුහල පර්ෂද මූලස්ථ විදුහලක් වශයෙන් නම් කිරීමෙන් අනතුරුව මෙම විදුහල්පතිතුමාට දැරණියගල කොට්ඨාසට අයත් විදුහල් 14 ක අධ්‍යාපන සංවර්ධනය පිළිබඳ සොයා බලා වාර්තා කිරීම්ට සිදුවිය. මෙම ක්‍රමය යටතේ අවට විදුහල් ඒකරාශිී වීම නිසා මෙම විදුහල "සම්පත් බෙදාහැරීමේ මධ්‍යස්ථානයක්" බවට පත්විය. මෙතුමා විදුහල්පති වශයෙන් පත්ව එන විට උසස් පෙළ ප්‍රතිඵල වල තරමක පසුබිෑමක් දක්නට ලැබුණු අතර ප්‍රතිඵල ඉහළ නැංවීම සඳහා විශේෂ සැලසුම් ව්‍යාපෘති ක්‍රියාත්මක වීම් නිසා1990-1991 වසර වල උසස් පෙළ ප්‍රතිඵල වලින් ප්‍රදේශයේ අනෙකුත් විදුහල් අභිබවමින් ඉදිරියට යාමට හැකිවීය. මෙකල කලා/ වාණිජ වලින් පමණක් නොව ප්‍රථම වරට විද්‍යා අංශයෙන්ද විශ්ව විද්‍යාලයට පිවිසෙන්නට සිසුවෙකුට අවස්ථාව ලැබුණි. විශ්ව විද්‍යාල වලට මෙන්ම විද්‍යාපීඨ වලටද ඇතුලත්වන්නන් වසරක් පාසා වැඩි වූ බව සඳහන් කළ හැකිය.
මෙම අවධිය වන විට අධ්‍යාපන, ක්‍රීඩා, විෂය සමගාමී, විෂය බාහිර අංශ වලින් මහත් සංවර්ධනයක් සිදු වූ නිසා පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව දහසක් දක්වා වර්ධනය විය. 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් ව වෙනත් විද්‍යාලවලට ඇදීගිය ශිෂ්‍යයෝ ද සිරිසමන් විදුහල කරා පැමිණියහ.

1991-1992 සාෆ් ක්‍රීඩා උළෙල නියෝජනය කළ කාන්තා වොලිබෝල් කන්තා කණ්ඩායමට අප විදුහලේ ජයන්ති කරුණාරත්න මෙනවිය ඉදිරිපත්ව රන් පදක්කම් දිනා අප විද්‍යාලයට මෙන්ම මුළු මහත් ශ්‍රී ලංකාවටම ඉමහත් කීර්තියක් ලබාදීම පුෂ්පකුමාර මැතිතුමාගේ විදුහල්පති කාලවකවානුවේ සුවිශේෂී ක්‍රීඩා ජයග්‍රහණයකි මේ වන විට එම මහත්මිය අප විදුහලය ක්‍රීඩා භාර ඇදුරුතුමිය ලෙස කටයුතු කිරීම ඉමහත් සතුටකි.1990- 1991වසරවල සීතාවකපුර සාහිත්‍ය උළෙලේට විද්‍යාලීය ශිෂ්‍යයන් ඉදිරිපත්ව ප්‍රදේශයේ අනෙකුත් ජනප්‍රිය ප්‍රසිද්ධ පාසල් අභිබවා දැනුම මිනුම, කෙටි කතා, වාද විවාද, රචනා, තරගාවලියෙන් ප්‍රථම ස්ථාන, සූරතා කුසලාන ලබාගත්තොත් සඳහන් කරන්නේ බලවත් සතුටකිනි.
එකල විද්‍යාලයීය දැනුම මිනුම කණ්ඩායමේ නායක නායකත්වය දැරූ පී.එම්.ආර්.ඩී.පොල්ගම්පල මහතා අප විද්‍යාලයේම විද්‍යා අංශයේ ගුරු භවතෙකු වීමත්, රචනා තරග ආදියෙන් ප්‍රථම ස්ථානය ලබා විද්‍යාලයට කීර්තියක් ඇති කළ එම්.ජී.ප්‍රදීපා චාන්දනී මහත්මිය උපාධිධාරී ගුරු මහත්මියක් ලෙසත් මෙම විද්‍යාලයෙහිම මේ වන විට සේවයෙහි නිරත වීම වෙසෙසින් සඳහන් කළ යුතුය. එකල කථික කණ්ඩායම් ආදියෙහි නායකත්වය දැරූ එන්.වී.සංජය බණ්ඩාර නාතාවිතරණ මහතා වර්තමානයෙහි නීතීඥ වෘත්තියේ යෙදෙන අතර, සාලින්ද කරුණාතිලක මහතා වැන්නන් වෛද්‍ය වෘත්තියෙහි නිරතවීම මහත් අභිමානයෙන් සටහන් කළ යුතු කරුණුය.විදුහල්පති පුෂ්පකුමාර යුගයේම ක්‍රිඩිකාවක වූ නිලානි රේණුකා මහත්මිය ද මේ වන විට අප විද්‍යාලයේ ක්රීඩාභාර ආචාර්යතුමියක ලෙස කටයුතු කිරීම සතුටින් සිහිපත් කළ යුතුය.
මෙම කාලය තුළ ගොඩනැඟිලි හිඟය මගහැරුනේ නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදි වූ බැවිනි. මේ කාලයේ ලැබුණු තවත් ගොඩනැගිලි 02 කි. 1991 රජයේ නිල බක්මහ උළෙල එවකට සිටි ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිරිසමන් මැදි විදුහල් ක්‍රීඩාංගණයේ පැවැත්වීම සුවිශේෂී සිද්ධියකි. එවකට අඩු පාඩුවක්ව පැවති ක්‍රීඩාගාරයක්ද එම උත්සවය හේතු කොට ගෙන ඉදිවිය. මේ කාල වකවානුව තුළ විදුහල්පතිතුමාට 56ක් පමණ ආචාර්ය මණ්ඩලයේ කැපවීම උනන්දුව මත "සිරිසමන් මේලා" නමින් දින කීපයක කලා උළෙලක් පවත්වා "සිරිසමන් අසිරි" යනුවෙන් සඟරාවක් එළි දැක්වීම ද සිරිසමන් ඉතිහාසයේ නොමැකෙන සටහනක් බව සඳහන් කළ යුතුය. මෙම කාල වකවානුව තුළ නියෝජ්‍ය විදුහල්පතිතුමා ලෙස කටයුතු කළ කීර්තිමත් විද්‍යා ගුරු උපදේශකවරයකු වූ ටී.ඒ.ධර්මදාස මහතා සියලු කාර්යන්හිදී නොමද සහයෝගය ලබාදීම දුෂ්කර කාර්යයන් ඉටු කර ගැනීමට නොමඳ පිටුබලයක් විය. සිරිසමන් කලා උළෙල සංවිධානයෙහිලා ක්‍රියාකළ විදුහල්පතිතුමාගේ දැවැන්ත සෙවණැල්ලක් මෙන් සිටිමින් ක්‍රියාකල එන්.කේ.ඥානරත්න මහතාගෙන් මෙම විදුහල්ට සිදුවූ සේවය ද ස්තූති පූර්වක ව සිහි කළ යුතුය. 1981 වර්ෂයෙන් මෙම විද්‍යාලයට මුල් පත්වීම ලද එච්.ඒ.වී.රණසිංහ මැතිතුමාද මෙම කලා උළෙලෙදී වී විශිෂ්ට සේවයක් කළ බව සඳහන් කළ යුතුය. ඒ.පී.ජිනදාස යුගයේ උසස් පෙළ ශිෂ්‍යයෙකු ව සිටි රණසිංහ මහතා 1990 වර්ෂයේ මෙම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙස1995 වර්ෂයේ සිරිසමන් විදුහලේ පුස්තකාලාධිපති ලෙසත් විශිෂ්ට සේවයක් කොට 2009 වර්ෂයේ ජනවාරි 09 දින විශ්‍රාමික වීමේදී විදුහලට අවශ්‍ය වටිනා අංග සම්පූර්ණ ශබ්ද විකාශන යන්ත්‍ර කට්ටලයක් ලබා දීම කෘතඥ පූර්වක මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුමය.


මෙම යුගයේ සිරිසමන් විදුහල ජාතික පාසලක් බවට පත් කිරීමට රජයේ අවධානය යොමු මු අතර 1994.05.11 දින සිරිසමන් මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් විය. 1993.05.12 හැඳින්වීම විදුහල්පති පුෂ්පකුමාර මැතිතුමා විශිෂ්ට සේවයකින් පසු විශ්‍රාම ගත්තේය. අනතුරුව පුරප්පාඩු වූ විදුහල්පති තනතුරට පත් වූයේ එවකට රත්නපුර සීවලි මධ්‍ය මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් තනතුර හෙබවූ කේ. ඒ.අමරසිංහ මැතිතුමාය. එතුමා සේවය කළ සුළු කාල පරාසය තුළ ආදිශිෂ්‍ය සංගමයක් පිහිටුවා විදුහලේ දක්ෂ දරුවන්ට උසස් අධ්‍යාපනයේදී මහඟු පිටුබලයක් වන සේ ශිෂ්‍යත්ව ප්රදානය කිරීමට අරමුදලක් පිහිටුවීම වෙසෙසින් සඳහන් කළ යුතු ය. එතුමාගේ කාලපරිච්ඡේදයේදී පවත්වන ලද නිවාසාන්තර ක්‍රීඩා උළෙල ගුරු සිසු දෙමාපිය එකමුතුවෙන් වර්ණවත් එකක් වූ බව පැවසිය යුතු අතර, මෙතුමා විදුහල්පති භූමිකාවට අමතර පන්ති කාමර තුළ ගුරු භුමිකාවෙහිද නිරත වෙමින් ගුරු සිසු සැමගේ නොමද ප්‍රසාදයට පත් වූ අධ්‍යාපනඥයෙක් විය. වැඩිදුරටත් අධ්‍යාපන ක්ෂේත්රයෙහි නිරත වීමට නැවතත් පූර්ණ කාලීනව විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පිවිසිමෙන් පසු විශිෂ්ට අධ්‍යාපන සුදුසුකම් ලබා වර්තමානයේ දෙහිඕවිට කලාප කාර්යාලය අධ්‍යාපන අධ්යක්ෂ තනතුර හෙබවීම සිරිසමන් ඉතිහාසයෙහි විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කළ මැතිඳෙකු ලැබු අති විශිෂ්ට ජයග්‍රහණයකි කේ. ඒ.අමරසිංහ විදුහල්පතිතුමාගේ පුරප්පාඩුවෙන් පසු සිරිසමන් විදුහල්පති තනතුර ආරම්භ කළේ කීර්තිසේන මැතිතුමාය. එතුමා පාසල් ගුරුභවතුන්ගේ නොමද සහයෝගයෙන් ශක්ති ප්‍රමාණයෙන් විදුහලේ කටයුතු කරගෙන ගිය අතර, ඉක්බිති 1995 අප්‍රේල් මස 18 වන දින මෙහි විදුහල්පති ධුරයට පැමිණියේ මෙම විද්‍යාලයේම කලක් නියෝජ්‍ය විදුහල්පති ධූරය හෙබවූ විශිෂ්ට විද්‍යා ගුරු උපදේශකවරයකු වූ ටී.ඒ.ධර්මදාස මැතිතුමාය. එතුමාගේ සම්ප්රප්තියෙන් මෙම විදුහලෙහි අනුස්මරණීය නව යුගයක් උදා වූ බව පැවසිීම සාවද්‍ය නොවේ. මේ වන විට විද්‍යාලයේ භෞතික පරිසරයේ පැවැතුණු අඩුපාඩු රාශියක් මෙතුමාගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් වශයෙන් සම්පූර්ණ වූ බව කළ යුතුය. කෑගල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවර ගරු විශ්වා වර්ණපාල ඇමැතිතුමාගේ මගපෙන්වීම යටතේ 1996 වර්ෂයේ පොත් බෙදාදීමේ ජාතික මෙම උත්සවය සිරිසමන් විද්‍යාලයට පවරා ගැන්වීම ද ධර්මදාස විදුහල්පතිතුමාගේ උත්සාහයක් වන අතර එමගින් විද්‍යාලයේ ක්රීඩාංගනණය පුළුල් කොට, පැති බැම්ම යොදා කාණු පද්ධතිය සකස් කොට විදුහලෙහි අභ්‍යන්තර ජල නළ පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ අතර, අභ්‍යන්තර විදුලි රැහැන් පද්ධතිය ද ආරක්ෂිතව සකස් කොට විද්‍යාලයේ සියලු ශාලාවලට විදුලි පහසුකම් ලබා දීම අධ්‍යාපන කාර්යයන්හිදී අතිශය ප්‍රයෝජනවත් විය. අක්කර 05ක පමණ භූමි භාගය ආරක්ෂිත වැටකින් සකස් විය. විද්‍යාලයට පිවිසෙන අභ්‍යන්තර මාර්ගය තාරදමා සකස් කිරීම විදුහල් බිමෙහි ශෝභමත් බවට හේතු විය. මෙම උත්සවය වෙනුවෙන් විදුහලට පිවිසෙන ප්‍රධාන දොරටු දෙක ද ශක්තිමත්ව අලංකාර ලෙස සැකසීමෙන් අභ්‍යන්තර පරිසරය මැනවින් ආරක්ෂා වීම ට හේතු විය. විදුහල්පති ටී.ඒ.ධර්මදාස විදුහල්පතිතුමාගේ විශිෂ්ට ජයග්‍රහණයක් වන්නේ මහාචාර්ය විශ්වා වර්ණපාල මැතිතුමාගේ කාරුණික මැදිහත් වීමෙන් වත්මනෙහි ජාතික පාසලක් බවට පත් වූ මෙම විදුහලට අංග සම්පූර්ණ තෙමහල් විද්‍යාගාරයක් ලබාදීමයි. උසස් පෙළ විද්‍යා විෂයයන් හදාරන සිසු දරුදැරියන්ට මෙන්ම ගුරුභවතුන්ට ද බොහෝ සේ ප්‍රයෝජනවත් දේශන ශාලා ආදියෙන් සමන්විත මෙම ගොඩනැගිල්ල අධ්‍යාපන ක්ෂේත්රයෙහි ලා විදුහලට ලැබුණු මහඟු දායාදයකි. එසේම ඒ හා බැඳුණු අනු පිටපත් යන්ත්‍ර, රූපවාහිනිය හා ඩෙක් යන්ත්‍ර, ඕවර් හෙඩ් ප්‍රොජෙක්ටර් යන්ත්‍ර විෂයය ඉගැන්වීමේදී ගුරු සිසු සැමට බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව පැවසිය යුතුය. පාසලට අභිනව සිසුන් ඇතුළත් කර ගැනීමේ දී බොහෝ අවස්ථාවල දෙමාපියන් විසින් ඩෙස් පුටු සකස් කර දිය යුතු වුවද ධර්මදාස විදුහල්පතිතුමාගේ යුගයේදී පාසලට අවශ්‍ය බොහෝ සම්පත් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුමාගේ කාරුණික දායකත්වයෙන් විදුහල්පතිතුමාගේ දක්ෂ කාර්යශුරත්වය නිසාත් ලැබුණු බව පැවසීම සාවද්‍ය නොවේ මෙම කාල සීමාවේදී පාසලට දුරකථන පහසුකම් ලැබීමද සන්නිවේදන කාර්යයන් සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් විය. ගරු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවර විශ්වා වර්ණපාල මැතිදුන්ගේ කාරුණික ආරාධනයෙන් ගරු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රිචඩ් පතිරණ ඇමතිතුමාගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිනි අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ සුරතින් 1999 මාර්තු 25 දින අභිනවයෙන් ඉදිකළ A වර්ගයේ තෙමහල් විද්‍යාගාරය, අභිනව පුස්තකාල ගොඩනැගිල්ල, කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු ගුරුභවතුන්ගේ ගුරු පුහුණු කටයුතු සඳහා ඉදිකළ ගුරු පුහුණු මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීම ධර්මදාස ප්‍රධාන ඇදුරුතුමාගේ විදුහල්පති භූමිකාවේ ඇති විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස කෘතඥ පූර්වකව සිහිකොට යුතුය. විදුහලේ සියලු කාර්යයන්හිදී අව්, වැසි, පිනින් නොබලා දෘඩ මානසික ශක්තියකින් ක්‍රියා කළ ධර්මදාස මැතිතුමා, ආචාර්ය මණ්ඩලයේ සිත් දිනා ගත් අයෙකු වීම නිසා ඕනෑම දුෂ්කර කාර්යයක් ඉටුකර ගැනීමට එතුමාට ශක්තිය ධෛර්යය ලැබුණි. එම නිසාම විවිධ කාර්යයන්හි නිරතවිමෙන් වෙහෙසට පත් නොවී,1997 වර්ෂයේ පැවැත්වූ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය දිවයිනේ උසස් විද්‍යා විද්‍යාල වල පවත්වන ක්‍රිඩා උළෙල වලටත් වඩා අති උත්කර්ෂවත් විය. දූරදර්ශීව උපාය ඥානයෙන් කටයුතු කළ මෙතුමා විදුහල්ට දැඩි ලෙස බලපෑ ගුරු හිඟයද ඉතා ඉක්මනින් මගහරවා ගත්තේය. විදුහල්පතිතුමාගේ අනුදැනුම අධීක්ෂණය යටතේ ඇරඹි රග්බි කණ්ඩායමේත්, ලෙදර් බෝල් ක්‍රිකට් කණ්ඩායමේත් ආරම්භය මේ වකවානුවේ සිදුවීම විදුහලේ ක්‍රීඩා අංශය ලැබු ජයග්‍රහණයයක් ලෙස නම් කළ හැකිය. මෙතුමාගේ අධීක්ෂණය යටතේ මෙම විදුහලෙහි ප්‍රථමවරට ගාමිණී එදිරිසිංහ මහතා විසින් ආරම්භ කළ ශිෂ්‍ය භට ඛණ්ඩය සිරිසමන් ඉතිහාසයට එක් කළ තවත් විශිෂ්ට ජයග්‍රහණයකි. එම යුගයේ මෙම විද්‍යාලයෙන් බිහිවූ ශිෂ්‍යභටයින් ද්‍රවිඩ බෙදුම්වාදී ත්‍රස්තවාදය මැඩලීමේ සටනෙහිද අප විද්‍යාලය නියෝජනය කළ රණවිරුවන් වූ බවත් ඇතැමුන් මව්බිම වෙනුවෙන් සිය දිවි පුදූ තවත් අභිමාන පුරස්සර හෘත් කම්පනයෙන් යුතුව මෙහිලා සඳහන් කිරීම යුක්ති සහගතය. සිරිසමන් විදුහල් මෑණියන් හට සදානුස්මරණීය විශිෂ්ට සේවාවක් සිදුක කළ විදුහල්පති ධර්මදාස මැතිඳුන් 2003.10.11 වන දින සේවයෙන් විශ්‍රාම ගනිද්දී සිසුන් 33 කින් ආරම්භ කළ මෙම විද්‍යාලයේ ශිෂ්‍ය සංඛ්‍යාව එක්දහස් තුන්සිය දෙනෙකු පමණ ප්‍රමාණයෙන් පෝෂණය වී තිබුණු බවත්, සාමාන්‍ය පෙළ විභාගයෙන් සහ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල නෙලා ගනිමින් විශ්වවිද්‍යාලවලට විද්‍යාපීඨවලට උසස් අධ්‍යාපනය සඳහා පිවිසි පිරිස වර්ධනය වූ බවත් ප්‍රතිඵල ලේඛන පිරික්සීමේදී දක්නට ලැබෙයි. විෂය සමගාමි විෂය බාහිර කටයුතු වලදී සැලකිය යුතු සංවර්ධනයක් මෙම යුගය තුළ සජීවීව දෘශ්‍යමාන වූ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. සිරිසමන් විදුහල්පති ධර්මදාස යුගය මෙසේ නිමාවෙද්දි ඉන්පසු ඇරඹෙන්නේ විදුහල්පති ඒ.පී.ජිනදාස මැතිඳුන්ගේ යුගයේ සිරිසමන් විදු පියසෙහිම ශිෂ්‍යයෙකු ව සිට උසස් අධ්‍යාපනය ලබා ගුරු වෘත්තියට එළැඹි මහින්දදාස ජයවර්ධන මහතාගේ අවදියයි. මෙතුමා ද ප්‍රදේශයේ විද්‍යාල කිහිපයකම විදුහල්පති තනතුරු දරමින් අධ්‍යාපන ක්ෂේත්රයෙහි හසල අවබෝධයක් ලබා සිටි අයෙකු වීම නිසා මෙතෙක් ඉදිරියට ගමන් කළ විද්‍යාලයීය සංවර්ධනය අවිච්ඡින්නව ගලා යාමට මහඟු මෙහෙවරක් ඉටු කළ බව සඳහන් කළ යුතුය. විදුහලේ භෞතික පරිසරය පිළිබඳ අවධානය යොමු කළ මෙතුමා පාසල් භූමිය වටා කම්බි වැටක් සකස් කර පාසල් ගොඩනැඟිලි අලුත්වැඩියාවක් සිදු කොට වැසිකිලි ආදියෙහි හුණු ආලේප කරවා ජලනල පද්ධතිය ද නැවත සකස් කර වීය. ශිෂ්‍ය සුභසාධනය පිළිබඳව ද නව ක්‍රියාමාර්ගයක් දියත් කළ මෙතුමන් සිසු දරුවන් ලවා ශිෂ්‍ය පොළක් පවත්වා ශිෂ්‍ය සුභසාධන ගිණුමක් NSB බැංකු ශාඛාවේ ආරම්භ කොට රු.75000 ක අරමුදලක් එහි තැන්පත් කරවීය. පාසල් ගොඩනැඟිලි වල වහල වල කැඩී බිඳීගිය උළු කැට ඉවත් කොට ඒ වෙනුවට සබරගමු සීඩා සම්පත් මධ්‍යස්ථානයෙන් ලබාගත උළු සෙවිලි කොට ප්‍රතිසංස්කරණය කරවීම එම ගොඩනැගිලිවල ඉදිරි පැවැත්මට හේතු කාරක විය. බාහිර පුද්ගලයන්ගේ පන්ති කාමර ආරක්ෂා කර ගැනීම සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ මෙතුමා පන්ති කාමර වැසීමට අවශ්‍ය දොර ජනෙල් සකස් කර ඉබි යතුරු ලබා දීමට කටයුතු කළේය. පන්ති කාමර පිරිසිදු කිරීමට අවශ්‍ය ඉදල් කොසු ආදිය වාර්ෂිකව පංති කාමර වලට ලබාදීමට සැලැස්වු විදුහල්පතිතුමා පන්ති කාමර අලංකාර ලෙස තබා ගැනීමටත්, අවට පරිසරය විධිමත්ව සකස් කොට ඉගෙනුම් පරිසරයක් ඇති කිරීමටත් නිරන්තර උත්සාහයක් දැරිය. මේ අවධියේ පරණ විද්‍යාගාරය ප්‍රතිසංස්කරණය වූ අතර නැටුම් කාමරය ආරක්ෂක ලෙස ආවරණය කිරීමට ඉඩ සැලැස්වීය. සීඩා ආයතනයෙන් පැවැත්වූ විවිධ පාඨමාලා මෙන්ම ගුරු පුහුණු පාඨමාලා සැලසුම් කිරීමේහි හසල අවබෝධයක් ලැබුනා සිට ජයවර්ධන විදුහල්පතිතුමාත් විෂය සමගාමි, විෂය බාහිර ක්‍රියාකාරකම් ඇසුරෙන් සකස් කළ නිර්ණනායකයන් අනුව ශිෂ්‍ය නායක නායිකාවන් සහ පන්ති නායක නායිකාවන් තෝරා ගැනීමට කටයුතු කළේය. විධිමත් පන්ති වාර්තා පොතක් ද සකස් කොට භාවිතයට ගැණුනි. මෙතුමාගේ කාලසීමාවේ විදුහලේ NSB බැංකු ශාඛාවක් ආරම්භ වූ අතර උත්කර්ෂවත් නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් ද සියලු ගුරු සිසු දෙමව්පිය සහභාගිත්වයෙන් පැවැත් විය. විදුහල තුළ නැවත ඉංග්‍රීසි දිනයක් පැවැත්වීමට කටයුතු කළ මෙතුමා විසින් ගුරු දෙගුරු සහභාගීත්වයෙන් ශිෂ්‍ය නායක පදක්කම් පැළඳීම හා පන්ති නායක පදක්කම් පැළැඳවීම සිදු කරන ලදී. ගුණාත්මක සංවර්ධන අරමුදලින් ගුරුවරුන්ට හා සිසුන්ට අවශ්‍ය ඉගෙනුම් ඉගැන්වීම් උපකරණ හා දෘශ්‍යාධාර සඳහා අවශ්‍ය ලිපි ලේඛන හා උපකරණ ලබා දෙමින් අධ්‍යාපන කාර්යයෙහි ලා ගුරු සිසු දෙපිරිස උනන්දු කළ ජයවර්ධන විදුහල්පතිතුමන් දක්ෂ සිසුන් හා අදක්ෂ සිසුන් වෙන් වෙන්ව පැවැත්වූ පන්ති ඒකාබද්ධ කොට මිශ්‍ර ක්‍රමයක් හඳුන්වා,නව සංකල්පයක් හදුන්වා දෙමින් ගුරු භවතුන්ගේ අවධානය යොමු කොට අධ්‍යාපන කාර්යය වඩාත් ඵලදායි කිරීමට උත්සහ කළ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. අභ්‍යන්තරික පන්ති අධීක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළ මෙතුමා එම වසරේ උසස් පෙළ විශිෂ්ට දක්ෂතා දැක්වූ දරුවන් කැඳවා විශේෂ ඇගයීමක් කොට ගුරුභවතුන්ගේ විශේෂ පරිත්‍යාග යටතේ ත්‍යාග පිරිනමා ඔවුන් ව දිරිමත් කිරීමට සමත් වුයේය. දරුවන් කෙරෙහි මනෝවිද්‍යාත්මක තරමක ලිහිල් පරිපාලනයක් දියත් කළ මහින්දදාස ජයවර්ධන විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය සමඟ ඉතා සුහදශීලිව ක්‍රියා කළ බව එතුමා සමීපව ඇසුරු කර කාටත් වැටහී ගිය කරුණකි. සිරිසමන් විද්‍යාලයේ විදුහල්පති භූමිකාව තුළ සුළු කාලයක් කටයුතු කළ එතුමා 2004.01.01දින විශ්‍රාම ගියේය. බස්නාගල මහා විද්‍යාලය, කොස්ගහකන්ද මහා විද්‍යාලය ආදී විදුහල් කිහිපයක විදුහල්පති තනතුරු හොබවා විදුහල්පති භූමිකාව පිළිබඳ මනා පරිචයක් තිබෙන එස්.පී. ගුණවර්ධන මැතිතුමා 2004.11.01 දින සිරිසමන් ජාතික පාසලේ වැඩ භාරගත්ත ද විදුහල්පති ධුරය නිශ්චිත ව ක්‍රියාත්මක වන්නේ 2004.12.01 දින සිටය. එතුමාගේ සම්ප්රප්තියෙන් පසු මෙම විද්‍යාලයේ විෂය සමගාමී, විෂය බාහිර ක්‍රියාවලීන්ගේ ශීඝ්‍ර සංවර්ධනයක් සිදු වූ බව පැවසිය හැකිය. මේ වන විට පාසල්ට පිවිසෙන ප්‍රධාන දොරටුව අබලන්ව ගොස් තිබූ නිසා පාසලට ගැලපෙන පරිදි පාසල් අභ්‍යන්තරය ආරක්ෂා වන ආකාරය දොරටුවක් ඉදිකළ අතර, ආරක්ෂිත කුටිය සකස් කොට එය විධිමත්ව පාවිච්චියට ගැනුණි. අධයාපන අමාත්‍යංශය දැනුවත් කර ලබාගත් මුදල් ප්‍රතිපාදන වලින් පාසල් දන්ත චිකිත්සාගාරය ප්‍රතිසංස්කරණය කළ අතරම, විදුහල්පති කාර්යාලය හා අනධ්‍යයන කටයුතු කාර්යාලය ද වර්තමානයට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය කර, අනධ්‍යයන කාර්යාලය ප්‍රමාණය තවදුරටත් විශාල කරවීය. විදුහල්පති කාර්යාලය ද අනධ්‍යයන කාර්යාලය ද වැඩි පිරිසකට පහසුවෙන් වැඩ කටයුතු කරගෙන යාමට අවශ්‍ය පරිදි සකස් විය. ගුරුභවතුන්ගේ සුබ විවරණය සලකා කුඩා ප්‍රමාණයේ ගුරු විවේකාගාරය වෙනස් කොට ක්‍රමයෙන් වැඩි වෙන ගුරු සංඛ්‍යාවට ගැළපෙන පරිදි ගුරු විවේකාගාරය ප්‍රමාණයෙන් විශාල වූ අතර, විද්‍යාලය මාධ්‍ය කාමරයක් විදුහල්පති කාර්යාලයට සමීපව ලබාදීම පරිපාලන කටයුතු සඳහා පහසුවක් විය. විද්‍යාලයේ වසර ගණනාවක සිට ම විධිමත්ව ප්රතිසංස්කර නොවී තිබූ තාක්ෂණය ඒකකය ක්‍රමානුකූලව ප්‍රතිසංස්කරණයට මඟ පෑදූ විදුහල්පතිතුමා විද්‍යාලීය සා/පෙළ විද්‍යාගාරය ද නිසි අයුරින් ප්‍රතිසංස්කරණය කර වූයේ රජය මුදල් ප්රතිපාදනයෙන් මෙන්ම පාසල් සංවර්ධන සමිතියේ මුදල් ප්රතිපාදනයෙනි. මෙහිලා විශේෂ කරුණක් වන්නේ මෙම ගොඩනැගිල්ල ඉදි කළාට පසු මෙය ප්‍රථම අලුත්වැඩියාව වීමයි. විදුහල්පති ඒ.පී.ජිනදාස මැතිදුන්ගේ යුගයේ නාට්‍ය සංදර්ශනය පවත්වා උපයාගත් මුදලින් සකස් කළ මිණි කිකිණී ශාලාව වත්මන් විදුහල්පතිතුමා පැමිණෙන විට ප්‍රතිසංස්කරණය කිරීමට වහලය ගලවා දමා වසර 1 1/2 පමණ අව්වෙන් වැස්සෙන් හානි වෙමින් තිබූ අතර අමාත්‍යාංශයක් ලබාදුන් මුදල් ප්රතිපාදනයෙන් සහ දෙමාපියන්ගේ මුදල් ආධාරයෙන් එය සංස්කරණය කොට සිසු අයිතියට පැවරුණි. මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවර රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ අනුග්‍රහයෙන් මුදල් ප්‍රතිපාදන ලබා ගනිමින් ප්‍රධාන වේදිකාවේ තිබූ ජනෙල් දොරවල් ඉවත් කර වත්මනෙහි පවත්නා අලංකාර ස්වරූපයට වීදූරු සහිත ඇලුමිනියම් ජනෙල් සවිකිරීම පාසල් සංවර්ධන සමිතියේ මුදල් ප්‍රතිපාදන සිදු වුණි. දරු දැරියන්ට සහන මිලට ලිපිද්‍රව්‍ය ලබාගැනීම සඳහා පාසල් සමුපාකාර නැවත ස්ථාපනය කිරීම ගුරු සිසු සමට ඉතා වැඩදායී කරුණක් බව පැවසිය යුතුය. ගුණවර්වධන මැතිතුමාගේ වත්මන් කාල පරිච්ඡේද තුළ ක්‍රමයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනයක් ඇති වූ නිසා විද්‍යාලය ආපන ශාලාව ඉඩකඩ පහසුකම් මද වූයෙන් එයද ප්‍රතිසංස්කරණය කරවිය. මේ අවධියේදී ජනාධිපති ශාලාවද අනාරක්ෂිත ආකාරයෙන් පැවැතීම නිසා නැවත වටේ බිත්ති බැඳ යකඩ දැල් යොදා පන්ති කාමර වලට සුදුසු ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කිරීමෙන් රාත්‍රියට පිටස්තර පුද්ගලයින් ගේ පැමිණීමද වැලක්විණි. විද්‍යාලයේ ක්‍රීඩාගාරය ද නිසි පරිදි ප්‍රතිසංස්කරණය කළ අතර වත්මන් කාලසීමාවේ උසස් පෙළ විද්‍යාගාර පිවිසුම් දොරටුව අනාරක්ෂිතව තිබූ නිසා යකඩ ග්‍රිල් වලින් යුතු දොරටුවක් සවි කෙරුණි. වාණිජ හා පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යවර එච්.ආර්.මිත්‍රපාල මැතිතුමාගේ අනුග්‍රහයෙන් අක්කර පහක පමණ භූමි භාගයේ වර්ෂා ජලය ක්‍රීඩා පිට්ටනියට ගලා එන බැවින් පිට්ටනිය වටා කානු පද්ධතිය පුළුල් කොට ප්‍රතිසංස්කරණය කරවීම ක්‍රීඩාපිටියේ ආරක්ෂාවට හේතු විය. මේ වන විට විද්‍යාලයීය පරිගණකාගාරය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවී තිබුණු නිසා එම ඒකක භාර ගුරු මහතා සමඟ සාකච්ඡා කොට සිසුන්ගේ මෙන්ම ගුරුභවතුන්ගේ ප්‍රයෝජනයට හේතුවන ලෙස සකස් කිරීම විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි. බහු මාධ්‍ය ඒකකයක් ද සකස් කොට සිසු අයිතියට පැවරුණි. සෞන්දර්ය අංශය සතු බොහෝ උපකරණ අබලන්ව පැවැති බැවින් ඒ සියල්ල ද අලුත් වැඩියා කිරීම නිසා එම සෞන්දර්ය විෂයයන් හදාරන සිසු සිසුවියන්ට මෙන්ම ගුරුභවතුන්ට ද අතිශය ප්‍රයෝජනවත් විය. විදුහල්පති එස්.පී.ගුණවර්ධන මහතා විදුහල්පති කාර්යාලය වර්තමානයට ගැළපෙන ආකාරයෙන් සකස් වියයුතු නිසා ලලාන් පුද්ගලික සමාගමේ අනුග්‍රහයෙන් ෆැක්ස් යන්ත්‍රයක්ද ලබා ගත්තේය. පරිත්‍යාගශීලියෙකුගේ මුදල් අනුග්‍රහයෙන් සහ පාසල් සංවර්ධනය සමිතියේ මුදල් ආධාරයෙන් නවීන පන්නයේ පුටුවක් හා මේසයක්ද ලබා ගන්නා ලදී. විදුහලේ ආදි ශිෂ්‍යාවක් සහ වත්මනෙහි ක්‍රීඩා භාර ආචාරිණියක වන නීතා කරුණාරත්න මහත්මියගේ පරිත්‍යාගයන් දෙස ඉතා සුඛෝපභෝගී සෝපා කට්ටලයක් ලබාගත් අතර එය විදුහල්පති කාර්යාලය ශෝභාවත් කරන්නක් විය. විද්‍යාලයේ තූර්ය වාදක මණ්ඩලයට කලක් තිස්සේ තිබූ පැරණි ඇඳුම් කට්ටලය වෙනුවට මැලිබන් ගාමන්ට් ආයතනය සහ දෙමව්පියන්ගේ ආධාරයෙන් සිත් ගන්නා නව ඇඳුම් කට්ටලයක් සම්පාදනයක් කර ගැනීම නිසා විද්‍යාලයීය තුර්යවාදක මණ්ඩලය විවිධ තරග සඳහා යොමු කිරීමෙන් ජයග්රහණයය හිමිකර ගත්හ. ජායා පිටපත් යන්ත්‍රයක් සහ රෝනියෝ යන්ත්‍රයක් සහ පරිගණක ඒකකය සඳහා වර්ණ මුද්‍රිත පිටපත් යන්ත්‍රයක් ලබා ගැනීම පාසල් ලිපි ලේඛන කාර්යන් සඳහා ඉතා ප්‍රයෝජනවත් වෙයි. 1960 ගණන්වල සිට විද්‍යාලයේ පැවැති වේදිකා ශාලා තිරය දැඩි සේ අබලන්ව පැවැති නිසා මෙතුමා ඉතා අලංකාර ලෙස සකස් කළ ප්‍රධාන තිරයක් සහ එය ස්ථීර පවත්නා ලෙස රැඳවුම් කට්ටලයක් සකස් කරවා ගැනීම වර්තමානයෙහි ද වේදිකා ශාලාවට විශාල අඩුවක් සම්පූර්ණ වීමක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. විද්‍යාලයේ පුස්තකාලය බාහිරව සහ අභ්‍යන්තරව ප්‍රතිසංස්කරණය කළ අතර පාසල වටා ආරක්ෂිත වැට නැවත විධිමත් කළ අතර පාසලේ පිවිසුම් දොරටුව ඉදිරිපස ආරක්ෂිත බැම්මක් ද ස්ථාපිත වූයේ මෙතුමාගේ වත්මන් කාලපරිච්ඡේදයේ දීය. ශිෂ්‍යාවන් සඳහා ආරක්ෂිත වැසිකිළි පද්ධතියක් අමාත්‍යාංශයේ මුදල් ප්රතිපාදනයෙන් සකස් කළ වත්මන් විදුහල්පතිතුමා පාසල් ජල ටැංකි තුනක් ස්ථාපනය කරවීම, පාසල් භූමි සැලැස්ම ප්‍රදර්ශනය කරවීම, ඩෙස් 100ක් හා පුටු 100 ලබා ගැනීම වර්තමානයේ සිසුනට බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව පැවසිය යුතු ය. වත්මනෙහි දිවයිනේ උසස් විද්‍යාලවල පැවතින ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතු කිරීම අප විද්‍යාලයට ද යොදා ගනිමින් 6 වසර සිට ඉංග්‍රීසි මාධ්‍ය පන්තියක් ආරම්භ කිරීම සිසු දරුවන් ලැබූ ජයග්‍රහණයක් ලෙස සටහන් කළ යුතුය. වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල අමාත්‍යතුමාගේ අනුමැතියෙන් ක්‍රීඩා අමාත්‍යවර ගාමිණී ලොකුගේ අමාත්‍යතුමාගේ අනුග්‍රහයෙන් මේස පන්දු ක්‍රීඩාව සඳහා මේසයක් සහ එම උපකරණ ලබා ගැනීම පාසල් ක්‍රීඩා අංශයට බෙහෙවින් ප්‍රයෝජනවත් විය. ඉහත සඳහන් කළ ආකාරයේ විශිෂ්ට සේවාවක් සිදු කළ විදුහල්පති එස්.පී.ගුණවර්ධන විද්‍යාලයාධිපති තුමාගේ කාල පරිච්ඡේදය තුළ 2004 වර්ෂයේ සිට මේ දක්වා ක්‍රමයෙන් වර්ධනය වන ශිෂ්‍ය සංඛ්‍යාව 2008 වර්ෂයේ දී 1283 දක්වා වර්ධනය වී ඇත. මෙතුමා විදුහල්පති තනතුර භාර ගනිද්දී 2004 වර්ෂයේ අ.පො.ස සාපෙළ ප්‍රතිඵල වල වලට අනුව සමත් ශිෂ්‍ය සංඛ්‍යාව 74 ක් වු අතර, 2008 වර්ෂයේදී එම සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් ඇත. එසේම 2004 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල සමත් සංඛ්‍යාව 78 ක් වු අතර විශ්ව විද්‍යාලයට පිවිසි සංඛ්‍යාව 07 ක් වූහ. 2007 වර්ෂයේ සිරිසමන් ඉතිහාසයේ අති විශිෂ්ට ප්‍රතිඵල ලබා දෙමින් විශ්ව විද්‍යාලයට පිවිසි සංඛ්‍යාව 23ක් විය. විද්‍යාපීඨවලට ද සෑහෙන සංඛ්‍යාවක් තේරී පත්වූහ. 2007 වර්ෂයේ උසස් පෙළ සමත් කේ.ඒ.ඩී නයෝමි විජේරත්න. ශිෂ්‍යාව කලා අංශයෙන් කෑගලු දිස්ත්‍රික්කයෙන් පළමු ස්ථානය ලබා ගත් අතර, එස් සුමුදු සත්සරණි ශිෂ්‍යාව දිස්ත්‍රික්කයේ දහසය ස්ථානය ලබා ගනිමින් දෙදෙනාම මේ වන විටත් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් ව අධ්‍යයන කටයුතුවල යෙදෙන බව මෙහි සඳහන් කරන්නේ බලවත් සතුටිනි. ඉහත සඳහන් වර්ෂයේ ලැබූ ජයග්‍රහණය වර්තමාන ආචාර්ය මණ්ඩලය සහ විදුහල්පතිතුමා ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බව සඳහන් කළ යුතුය. 2008 වර්ෂයේ අප විද්‍යාලය ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් වන්නේ උසස් පෙළ වාණිජ අංශයෙන් කෑගලු දිස්ත්‍රික්කයෙන් පී.කේ.සුරංග සංජීව ශිෂ්‍යයා ප්‍රථම ස්ථානය ලැබීමත් දිවයිනෙන්ම 9 වෙනියා වශයෙන් සමත් වීමත් විදුහල්පතිතුමා ඇතුළු වාණිජ අංශයේ ගුරුභවතුන් ලැබූ විජයග්රහණයක් ලෙස සඳහන් කළ යුතුය. එසේම විද්‍යා අංශයෙන් නෙත්මිණි පත්මපෙරුම ශිෂ්‍යයා වෛද්‍ය විද්‍යාලයට තේරී පත් වීම වත්මන් විදුහල්පතිතුමා ලැබූ අධ්‍යාපනික ජයග්‍රහණයක් ලෙස නම් කළ හැකිය. මෙයද විද්‍යා අංශයේ ආචාර්ය මණ්ඩලය ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් වන අතර කලා අංශයෙන් විශ්වවිද්‍යාලයට සහ විද්‍යාපීඨවලට වැඩි ප්‍රමාණයක් තේරීපත්වීම විදුහල ලැබූ ජයග්‍රහණය සඳහන් කරන්නේ අසීමිත සතුටකිනි. 2004 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා විද්‍යාලයේ ඉංග්‍රීසි අංශය ලැබූ තරග ජයග්‍රහණ රාශියකි. ආර්.ඒ.ජේ.කේ.රණසිංහ ශිෂ්‍යාව ඉංග්‍රීසි භාෂාවෙන් පැවැති නිර්මාණ රචනා පළාත් තරගයෙන් දෙවන ස්ථානය ලබා සමස්ත ලංකා නිර්මාණය රචනා තරගයට ඉදිරිපත් වූවාය. 2007 වර්ෂයේ ඉංග්‍රීසි භාෂා තරගවලට ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුන්දෙනෙක් කලාප තරගයට ඉදිරිපත්ව ජයග්‍රහණ ලබා ගැනීමෙන් අනතුරුව පළාත් තරගවලට ඉදිරිපත් ව ජයග්‍රහණ ලබා ඇත. 2007 වර්ෂයේ මුල් වරට වර්ණ ප්‍රදානෝත්සවයක් පැවැත්වූයේ මෙතුමාගේ කාල වකවානුවේදීය. 2008 වර්ෂයේ ඉංග්‍රීසි භාෂා තරග සඳහාත් 28 දෙනෙකු ඉදිරිපත් කොට ජයග්‍රහණ ලබා ඇත. 2004 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා රචනා තරඟ සිංහල භාෂා දින තරග චිත්‍ර තරග ආදියට ඉදිරිපත්ව සිසුන් රාශියක් විශිෂ්ඨ දස්කම් දක්වා විදුහලට උසස් කිහිපයක් ලබා දී ඇති බව මෙහි සඳහන් කරන්නේ විදුහල්පති තුමාටත් ආචාර්ය මණ්ඩලයටත් කෘතඥ පූර්වක ස්තූතිය පිරිනමමිනි. විද්‍යාලයේ සංගීත් අංශය ද 2004-2009 වර්ෂය දක්වා ලැබූ ජයග්රහණයන් රාශියකි. කලාප තරග පළාත් වලින් ජයග්‍රණය ලබා නැටුම් හා මුදා නාට්‍ය සමස්ත ලංකා තරඟයට ඉදිරිපත් වී ජයග්‍රහණය ලබා අප විදුහලේ වර්තමාන සිසුන් විශිෂ්ඨ දස්කම් දක්වා ඇති බව මෙහි සඳහන් කළ යුතුය. නර්තන අංශයෙන් ද කලාප පළාත් තරගවලින් ජයග්‍රහණ ලබා සමස්ත ලංකා නර්තන තරග වලට ද ඉදිරිපත්ව වර්තමාන ශිෂ්‍ය ශිෂ්‍යාවන් දස්කම් දැක්වු බව මෙහිලා සඳහන් කරන්නේ ඒ සඳහා ප්‍රධාන මාර්ගෝපදේශකයාණන් වු විදුහල්පති තුමාටත් විද්‍යාලයේ නර්තන සංගීත අංශවල ගුරු භවතුන්ටත් විශේෂ ස්තුතිය පිරිනමමිනි. දැරණියගල ශ්‍රී සුමනාරාමය, දැරණියගල පුරාණ විහාරය, ශ්‍රී සුමන සමන් දේවාලය ප්‍රධාන කොටගෙන පැවැත්වූ විවිධ උත්සව හා පෙරහැර වරට අප සිසු සිසුවියන් විවිධ නර්තන අංග වලින් සියලු අවස්ථාවලදී දායක වූ බව සඳහන් කරන්නේ මහත් සතුටිනි. 2007 වර්ෂයේ සිරිසමන් විදුහල ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය පිළිගත් ක්‍රිකට් ක්‍රීඩා තරග පාසලක් බවට පත් විය. මේ නිසා අන්තර් පාඨශාලීය ක්‍රිකට් තරගාවලියට මෙම විදුහල සුදුසුකම් ලැබීය. සිරිසමන් විදුහලේ ඉතිහාසය පළමුවන ලෙස ක්‍රිකට් තරගය අප විද්‍යාලීය පිල රත්නපුර මිහිඳු විද්‍යාලීය පිල සමග පැවැති තරගයෙන් ජයග්‍රහණය කළේය. මේ වනවිට විද්‍යාලයේ ක්‍රිකට් භාර ආචාර්ය පී.එම්.ආර්.ඩී.පොල්ගම්පල,ඊ.එම්.එස්.බී.ඒකනායක යන ආචාර්යවරුන් 13 පහල 15න් පහළ ක්‍රිකට් සංචිතය ආරම්භ කර ඇත්තේ වත්මන් විදුහල්පති එස්.පී.ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ ය. අප විද්‍යාලයේ මුල්වරට 2008 වර්ෂයේ කරාටේ ක්‍රීඩාව ආරම්භ කළ අතර බාහිර පුහුණු උපදේශකවරයකු යටතේ 2008 වර්ෂයේ ක්‍රීඩිකාවක් පළාත් තරග වලින් දෙවන ස්ථානය ලබා ගත්තා ය.මේ වන විට අප පාසලේ පාපන්දු කණ්ඩායම 5 ක් පවතින අතර 2006 වසර තුළ ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ ලියාපදිංචි පාසලක් වශයෙන් පත් කරගත් අතර එම කණ්ඩායම් පළාත් මට්ටම දස්කම් දක්වා ඇත. පාපන්දු කණ්ඩායම සබරගමු පළාත් ක්‍රීඩා උළෙලේ තෙවන ස්ථානය දිනා ගත්තේය. 2008 වසර තුළ 17න් පහළ පාපන්දු කණ්ඩායම් තරග සඳහා සුදුසුකම් ලබා තිබීම ඒ සඳහා ඇප කැප වී ක්‍රියාකරන විද්‍යාලීය ක්‍රීඩා අංශයේ මහතා මහත්මියට මෙන්ම විදුහල්පතිතුමාටද ගුරු දෙගුරු සිසු සියලු දෙනාටම බලවත් සතුටට කරුණකි. වර්තමානයේ ක්‍රීඩා අංශය මෙන්ම ශිෂ්‍ය භට අංශය භාරව ක්‍රියා කරන මේජර් උපාලි ප්‍රේමදාස මහතාගේ නොමද කැපවීමෙන් කෑගල්ල පොලිස් පාපන්දු කණ්ඩායම හා දැරණියගල සිරිසමන් ආදි සිසු කණ්ඩායම් අතර විශාල ජන සහභාගීත්වයක් මැද සිරිසමන් පිටියේ පැවැත්වූ ප්‍රදර්ශන පාපන්දු තරගය වසර 10 කට පවත්වන ලද විශිෂ්ට ප්‍රදර්ශනාත්මක තරගයක් විය. එසේම සිරිසමන් ආදිශිෂ්‍ය කණ්ඩායම සහ කන්නත්තොට "යංග්ලයන්" ක්‍රීඩා සමාජය අතර පැවැත්වූ පාපන්දු තරගය රාත්‍රී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත් වූ තරගයක් ලෙස ඉතිහාසයට එක් වනු ඇත. වත්මන් විදුහල්පති විදුහල්පතිතුමාගේ කාල වකවානුව තුළ මේජර් උපාලි ප්‍රේමදාස මහතාගේ මඟ පෙන්වීමෙන් සමස්ත ලංකා ආබාධිතයින්ගේ වොලිබෝල් තරගාවලියක් ආබාධිත වොලිබෝල් ක්‍රීඩකයින් 200කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට ද අප විදුහල් ක්‍රීඩා අංශය ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණයකි. මේ වන විට ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩා සම්මේලනයේ සාමාජිකත්වය අප විදුහල වෙත ලැබී ඇත. මේ සඳහා ඇප කැපවී ක්‍රියා කළ සියලු ගුරු මහත්ම මහත්මීන්ට නොමද ස්තූතියි මේ ඓතිහාසික මොහොතේ පිරිනැමිය යුතුය. විදුහල්පති එස්.ජී ගුණවර්ධන මැතිතුමාගේ සිරිසමන් ආගමනයෙන් පසු 2005 සැප්තැම්බර් මස 5වන දින සිට ශිෂ්‍ය භට කටයුතු සඳහා මේජර් උපාලි ප්‍රේමදාස මහතා පැමිණීමෙන් එම අංශය නව පණක් ලැබූ බව සඳහන් කළ යුතුම ය. ප්‍රේමදාස මහතාගේ මඟ පෙන්වීමෙන් බීජී.ඒ.පී ගමගේ, කේ.එස් කුමාර්, ආර්.ආර්.ජී බණ්ඩාර යන ගුරු මහත්වරුන් තිදෙන ශිෂ්‍ය භට බලකා නිලධාරීන් ලෙස පුහුණුව ලැබීම මෙම අංශයේ සංවර්ධනයයට බෙහෙවින් හේතු වූ බව පැවසිය යුතුය. දිවයිනේ උසස් පාසලකට නොදෙවෙනි ගණයේ වර්තමානයේ ශිෂ්‍ය භට ඛණ්ඩ යුධ හමුදා ශිෂ්‍ය භට ඛණ්ඩය, යුධ හමුදා බාලිකා ශිෂ්‍ය භට ඛණ්ඩය, ගුවන් හමුදා ශිෂ්‍ය භට බාලක කණ්ඩය, නාවික හමුදා බාලිකා ශිෂ්‍ය භට ඛණ්ඩය යනුවෙන් අංශ හතරක්ම ස්ථාපිත වීම මෙම ඇදුරුතුමාගේ නොමද කැපවීමක් ලෙස දැක්විය හැකි ය. වත්මන් විදුහල්පතිතුමා මේජර් උපාලි ප්‍රේමදාස සහ අනෙකුත් නිලධාරී මහතුන්ගේ සහ එම ඛණ්ඩ වලට අයත් සිසු දරු දැරියන්ගේ නොමද ඇප කැපවීම නිසා මේ වන විට කඳවුරු පුහුණු කටයුතු සඳහා ඉදිරිපත් වී දිවයිනේ උසස් පාසල් අභිබවා විශිෂ්ට ජයග්‍රහණ ලබා ඇති බව සඳහන් කරන්නේ බලවත් චිත්රප්රීතියෙන් යුතුව ය.2004 වර්ෂයේ යේ සිට 2009 වර්ෂය දක්වා මෙම විද්‍යාලය මල්ල ක්‍රීඩා කොට්ටාස තරග පළාත් තරග ජයග්‍රහණය කිරීම සමස්ත ලංකා තරග සදහා සුදුසුකම් ලැබීම විදුහලේ ප්‍රධාන ක්‍රීඩා පුහුණු ආචාර්යතුමිය වන ඒ. ජයන්ති කරුණාරත්න මහත්මිය ඇතුළු ක්‍රීඩා අංශය බාර භාර සියලු මහත්ම මහත්මීන් ලැබූ ජයග්‍රහණයක් ලෙස සඳහන් කළ යුතුය. 1947 වර්ෂයේ සිසුන් 33 දෙනෙකුගෙන් ඇරඹි මෙම පාසල 2021 වර්ෂය වන විට පුරා වසර හැත්තැ හතරක් සපුරමින් ප්‍රදේශයේ විශිෂ්ට අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. මෙම ලිපිය සැකසීමේ දී 1992 වර්ෂයේ සිරිසමන් අසිරි සඟරාවේ පළමු ජේෂ්ඨ උපදේශක විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති එම්.කේ කරුණාරත්න මහතා සැපයූ ලිපි උපයෝගී කරගත් බව නිහතමානීව, කෘතඥතා පූර්වකව සිහිපත් කරමි.
|
ආරම්ළ වර්ෂය |
1947 මැයි 17 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
33 |
|
මුල් ගුරුතුමාගේ නම |
එස්.එම්.වීරසිංහ මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
|
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ ආරම්භක නම |
ඉංග්‍රීසි කණිටු විදුහල |
|
පාසල භාරව කටයුතු කිරීම |
|
|
පාසල රජයට පවරාගත් දිනය |
|
|
පාසල පැවැත්වූ ස්ථානය |
දැරණියගල මාලිගාතැන්න ප්‍රදේශයේ |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
|
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
|
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
|